දිනය - 2013-අප්‍රේල්-02
වේලාව - ප.ව.10.15 පමණ
ස්ථානය - පිළියන්දල බස්රථ නැවතුම ඉදිරිපිට ත්‍රීරෝද රථ නැවතුම
මම මේ වෙලාවේ හිටියෙ බොහොම අපහසුවෙන්. කොළඹ කොටුවෙ ඉඳලා මීටර් ටැක්සියක ඒමට හැකියාව තිබුනත් අතරමගදී යෙදී තිබුන වෙනත් කටයුත්තක් නිසා බස් එකේම යනවා කියලා තීරණය කළ මම එදින ප.ව. 10ට පමණ පිළියන්දලට ආවේ බොහොම සුඛෝපබෝගි ලෙස හිටගෙනමයි. මේ වෙලාවේදී පිළියන්දල ත්‍රීවීල් රථ කිහිපයක් තිබුනත් මා ඉන් එකකටවත් ගොඩ නොවූයේ රාත්‍රී ගමන් බිමන් වලට මා අඳුනන ත්‍රීවීල් රථ පමණක් මා යොදා ගන්නා නිසයි. මේ වෙලාවේදී මම අඳුනන බණ්ඩාර මල්ලි එයාගේ ත්‍රීවීල් එක එතනට ගෙනත් නැවැත්තුවා. ඉහේ මලක් පිපුන මම මල්ලි අපි යමුද කියා ඇහුවා. එතකොට බණ්ඩාර මල්ලි කිව්වෙ "යමු අයියේ.. ඒත් යන ගමන් කැස්බෑවෙ යාළුවෙක් ඉන්නවා එයාට කතා කරන් යමු" කියලයි. ඒ මල්ලි ගැන දන්න නිසා මම "හා කමක් නෑ. වැඩිවෙලා නවත්තන් ඉන්නෙ නැතුව යමු" කියලා මම කිව්වෙ ගෙදර යාමට මට තිබූ හදිසිය යටපත් කරගෙනයි. අපි විනාඩි පහක් ඇතුලත කැස්බෑවට ආවා.ඒ එනකොට කැස්‍බෑව බස් නැවතුම පැත්තේ සිට තරුණයන් දෙදෙනෙක් පාර පැන ත්‍රීරෝද රිය පැත්තට ආවා. එතකොට බණ්ඩාර මල්ලි සාක්කුවෙන් මුදල් පිරුන මුදල් පසුම්බියක් ගෙන "මල්ලි සල්ලි ඔක්කොම තියනවද බලන්න" කියල අර ආ තරුණයෙක්ට කිව්වා. මේ වෙන සිද්ධිය මොකක්ද කියලා එක පාරටම මට තේරුම් ගන්න බැරිඋනත් අර තරුණයා "තෑන්ක්ස් බණ්ඩාර. සල්ලි නැති උනත් පර්ස් එක ලැබුනනේ" කියලා කිව්වා. නමුත් බණ්ඩාර සල්ලි ගණන් කර බලන්න කියා බල කර හෙයින් ඔහු එය ගණන් කර බලා සියළු මුදල් අඩු නැතුව තියෙන බවත් රු 12,000/- මුදල තිබූ ආකාරයෙන් තිබෙන බව කීමෙන් මට කාරණය වැටහුනා. මම මේ ත්‍රිරොද රථයට නගින්නට ප්‍රථම තරුණියක් මෙම රථයෙන් ගිහින් තියෙනවා. ඇය අසුන මත මුදල් පසුම්බියක් දැක එය බණ්ඩාර මල්ලිට දීල තියෙනවා. ඇයට පෙර මෙම රථයෙන් ගිය මගියාගේ මුදල් පසුම්බිය බව අවබොධ කරගත් බණ්ඩාර එය නැවත දුන්නේ ඔන්න ඔය ආකාරයටයි. බණ්ඩාර මෙන්ම මෙහි තරුණියද මිනිසත් බව ලැබූ මිනිසුන් බවයි මගේ අදහස.