Sunday, October 21, 2012

මිහිරි දිවිය

හැඳිනගතිමි මා ඔබගෙන්

ජීවිතයක මිහිරි අරුත

විඳ ගත්තෙමි ඔබෙ සෙනෙහෙන්

අරුතක් ඇති දිවියෙ මිහිර

ලැබගත්තෙමි පිය පදවිය

දියණිවරුන් ඔබමෙන් ලද

සැනසෙන්නෙමි සදා ඔබෙන්

ලැබෙනා මිහිරෙන් මත්වුන . . .


Saturday, October 6, 2012

බීමත්,,
එහි ඇති අගයත්,,,
බොන උතුමෝ මිසක්,,,
නොබොන දුදනෝ නොදනිත්,,,,

Saturday, June 16, 2012

දෙවෙනි දියණී . . .

ආදර ශාන්, මට මගේ ජීවිතයේ අරුත කියා දී ඔබ වන් ලස්සන දියණියන් දෙදෙනෙක් ලබාදුන්නාට . . . . මම කොහොම  ඔයාට ස්තූති කරන්න ද?  අද (16-ජූනි-2012) මගේ දෙවෙණි දියණිය මෙලොව එළිය දුටුවා.

Monday, February 20, 2012

උපත

1975-නොවැම්බර් මස 04 වැනිදා කළුබෝවිල මහ රොහලේ දී පෙරවරු 09.58 ට මම මේ ලෝකයට බිහිවුනා.  උක්වත්ත ලොකු ලියනලාගේ පියසීලි පෙරේරා හා වතුදුර නන්දසේන ද සිල්වා මගේ ආදරණීය අම්මා හා තාත්තා වුනා. මම මේ දේවල් ලියන්නේ මගේම ජීවිත කතාව මම ම ලියන නිසාත් එය තවමත් ජීවී ආකාරයෙන් ගලාගෙන යන නිසාත් බව කියන්න ඕනා. මට හන්ගන්න කිසි දෙයක් නැති නිසා ජීවිතය හරි නිදහස්. ඒත්.... (මාතෘකාවෙන් පිට නේද?) 

මම ඉපදෙනකොට මගේ තාත්තා ලංකාවේ නම ගෙනියන්න තරමට ප්‍රසිද්ධ ව්‍යාපාරයකට අත ගහල තිබුන බව මම දැනගත්තේ තරුණ අවදියේ දී. එතකොටත් මේ සමාජය ඒ උතුම් මනුස්සයාගේ සංකල්පය විතරක් නොවෙයි මුළු ආත්මයම දේශපාලන පළිගැනීමකට ලක් කරලා ඉවරයි. කොහොම වෙතත් මම ඉපදෙනකොට අපේ පවුලේ සාමාජිකයන් වන අක්කලා පස් දෙනා, මම සහ අම්මා තාත්තා හට කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් තරම් ආදායම් මාර්ගයක් තිබිලා තියනවා. ඒවාත් බොහොම යහපත් විදියට කාටවත් කරදරයක් නොවෙන විදියට තමයි තිබිලා තියෙන්නෙ. ඒවාගේම තාත්තා යටතේ ගමේ බොහෝ දෙනෙක් වැඩ කරලා කියනවා.

Saturday, January 21, 2012

මගේ මතකයට පාර තැනුන හැටි

මම ගොඩක් දෙවල් දන්න වගේම ඊටත් වඩා මම ගැන නොදැනගෙන සිටිය, මේ ලෝකෙ පොලොවෙ පය ගහල ජීවත් වෙන ‍මිනිසෙක්. (ඔව් මම කියල පටන් ගත්තම ඉවර වෙන්න ඕන මිනිසෙක්මි කියල තමයි. ඒත් මම කැමතියි මගේ විදියට සිංහල වුනත් හසුරවන්න. ඒක ම‍ට ලේසියි. ඒ කියන්නෙ සිංහල ව්‍යාකරණ හරියට බෑ කියන එක තවත් විදියකට කියන්න පුළුවන් ලේසි ක්‍රමයක්.) කතාව පිට පැන්නද මන්ද ? හරි. මගේ බ්ලොග් ඉතිහාසය මීට අවුරුදු 4කට එහා ගියාට ඒ මුළු කාලය තුළම එක බ්ලොග් සටහනක් දිගටම පවත්වාගෙන යන්න තරම් මම මටම කීකරුව නොවෙයි හිටියෙ. මෙහෙම කාලයක් යනකොට මිනිහෙකුට තමන් කරන හා කරපු මොඩකම් තේරෙණ අවදිය වෙන වයස සමග මටම තේරුම් යනවා බ්ලොග් විතරක් නෙවේ ජීවිතයත් මෙහෙම ගියොත් අවුල් කියලා. ඉතිං සමාජයගත බවට වැඩිපුර යොමුව හිටි මම මගේ බිරිඳගේ ආදරයත් මගපෙන්වීමත් එක්කම ජීවිතේ අළුත් ගමනක් යන්න  හදනකොට මට මගේ අතීත මතක වැළලීමට ඕන වුනා. ඇත්තටම එහෙම පුළුවන්ද? බෑ. බෑ. අතීතය වළලන්න පුළුවන් කමක් කාටවත් නෑ. ඒක රබර් බොලයක් වගේ. ඒත් අපිට පුළුවන් අතීතයෙන් පාඩම් අරගෙන ජීවිතය දිනන්න.  මේ මම දැන් කරනවා වගේ. හදවතට දැනෙන සිද්ධීන් බහුල මගේ ජීවිතයෙන් ඔබට ගතහැකි දෙයක් වේ නම් සතුටට එය හේතුවක් වේවි.

මේ සටහන් මේ විදියට ලියන්න බ්ලොග් අවකාශය තුළ සිටිනා ඔබා මාමා / මාරයා / කතන්දර /අරුණි ශපිරෝ / ලංකා ජෞතිෂ අරණ යන නොදන්නා සහෘදයන්ගේ ලිවීමේ නිරහන්කාරකම ධෛරයක් උනා.

ඊළඟ ලිපියෙන් ජීවිතය අරඹමු . . .