Sunday, April 7, 2013

සැබෑ මිනිසත් ගති ඇති ත්‍රීරෝද රථ රියදුරු

දිනය - 2013-අප්‍රේල්-02
වේලාව - ප.ව.10.15 පමණ
ස්ථානය - පිළියන්දල බස්රථ නැවතුම ඉදිරිපිට ත්‍රීරෝද රථ නැවතුම

මම මේ වෙලාවේ හිටියෙ බොහොම අපහසුවෙන්. කොළඹ කොටුවෙ ඉඳලා මීටර් ටැක්සියක ඒමට හැකියාව තිබුනත් අතරමගදී යෙදී තිබුන වෙනත් කටයුත්තක් නිසා බස් එකේම යනවා කියලා තීරණය කළ මම එදින ප.ව. 10ට පමණ පිළියන්දලට ආවේ බොහොම සුඛෝපබෝගි ලෙස හිටගෙනමයි. මේ වෙලාවේදී පිළියන්දල ත්‍රීවීල් රථ කිහිපයක් තිබුනත් මා ඉන් එකකටවත් ‍ගොඩ නොවූයේ රාත්‍රී ගමන් බිමන් වලට මා අඳුනන ත්‍රීවීල් රථ පමණක් මා යොදා ගන්නා නිසයි. මේ වෙලාවේදී මම අඳුනන බණ්ඩාර මල්ලි එයාගේ ත්‍රීවීල් එක එතනට ගෙනත් නැවැත්තුවා. ඉහේ මලක් පිපුන මම මල්ලි අපි යමුද කියා ඇහුවා. එතකොට බණ්ඩාර මල්ලි කිව්වෙ "යමු අයියේ.. ඒත් යන ගමන් කැස්බෑවෙ යාළුවෙක් ඉන්නවා එයාට කතා කරන් යමු" කියලයි.  ඒ මල්ලි ගැන දන්න නිසා මම "හා කමක් නෑ. වැඩිවෙලා නවත්තන් ඉන්නෙ නැතුව යමු" කියලා මම කිව්වෙ ගෙදර යාමට මට තිබූ හදිසිය යටපත් කරගෙනයි. අපි විනාඩි පහක් ඇතුලත කැස්බෑවට ආවා.ඒ එනකොට කැස්‍බෑව බස් නැවතුම පැත්තේ සිට තරුණයන් දෙදෙනෙක් පාර පැන ත්‍රීරෝද රිය පැත්තට ආවා. එතකොට බණ්ඩාර මල්ලි සාක්කුවෙන් මුදල් පිරුන මුදල් පසුම්බියක් ගෙන "මල්ලි සල්ලි ඔක්කොම තියනවද බලන්න" කියල අර ආ තරුණයෙක්ට කිව්වා. මේ වෙන සිද්ධිය මොකක්ද කියලා එක පාරටම මට තේරුම් ගන්න බැරිඋනත් අර තරුණයා "තෑන්ක්ස් බණ්ඩාර. සල්ලි නැති උනත් පර්ස් එක ලැබුනනේ" කියලා කිව්වා. නමුත් බණ්ඩාර සල්ලි ගණන් කර බලන්න කියා බල කර හෙයින් ඔහු එය ගණන් කර බලා සියළු මුදල් අඩු නැතුව තියෙන බවත් රු 12,000/- මුදල තිබූ ආකාරයෙන් තිබෙන බව කීමෙන් මට කාරණය වැටහුනා. මම මේ ත්‍රිරොද රථයට නගින්නට ප්‍රථම තරුණියක් මෙම රථයෙන් ගිහින් තියෙනවා. ඇය අසුන මත මුදල් පසුම්බියක් දැක එය බණ්ඩාර මල්ලිට දීල තියෙනවා. ඇයට පෙර මෙම රථයෙන් ගිය මගියාගේ මුදල් පසුම්බිය  බව අවබොධ කරගත් බණ්ඩාර එය නැවත දුන්නේ ඔන්න ඔය ආකාරයටයි. බණ්ඩාර මෙන් මෙහි තරුණියද මිනිසත් බව ලැබූ මිනිසුන් බවයි මගේ අදහස.

9 comments:

  1. ඔහොම මිනිස්සු අතරේ හදිස්සියකට පේන දුරකට යන්නත් නොවටිනා ගණන් ඉල්ලන ත්‍රීවීල් "කාරයොත්" ඉන්නවා. අද මට එහෙම එකෙක් හම්බ වුණා.. :)

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේ ත්‍රීවීල් "කාරයෙක්" හම්බවුනා. දවසක් මම හදිසි අනතුරකට ලක්වුන මගෙ යාළුවෙක් බලන්න කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයට යන්න මම ටවුන්හෝල් වලින් බැස්සා. කාර්යාලයේ කෑම පැයේදී එළියට ආපු නිසා ඉක්මණින් ආපසු යාමට මම ත්‍රීවීල් එකකින් රෝහල වෙත යන්න තීරණය කරලා මුස්ලිම් පල්ලිය ලඟ තියන ත්‍රීවීල් එකකට නැග්ගා. මම යන්න ඕන තැන කිව්වම මෙන්න මේ හාදයා වෝඩ් ප්ලේස් හරහා යන්න ගත්තා. මම ඇහැව්වා මල්ලි "ඔයා ටවුන්හෝල් වල දුවන ත්‍රීවීල් එකක් නෙවෙයිද?" කියලා. මේ යකා උත්තර නෑ. උගේ ගමනක් වගේ යනවා. මම සල්ලි දෙන්න මූට ඕන විදියට මම යන්න ඕන. මම හිතාගත්තා ඕන දෙයක් යමුකො කියලා. කොහොම හරි කේරි විද්‍යාලය පැත්තෙන් දාල ලොකු වටයක් ගොළඹ ඉන්න මට කොළඹ පෙන්නල මූ මගෙන් රු. 150/-ක් ඉල්ලනවා. මම කිව්වා "මල්ලි ඔයා මට කොළඹ පෙන්නන්න අවුරුදු 32කට (ඒ දවස් වල මගේ වයස) ඉස්ලේලා මම කොළඹ දැක්කෙ. වමේ ආවට කරන්න දෙයක් නෑ. අච්චර ලඟ පාරක් තියෙත්දි ඔයාගෙ උවමනාවටනෙ මෙහෙන් ආවෙ." කියලා. මූ මට පොර දේශණාවක් දෙන්න ආවා. මම සිංහල ශබ්දකෝෂයේ නැති වචන දෙකක් කියලා රු.50/-ක් දීලා ගන්නවනම් ගන්න කියලා පසුපස ආසනය මතට දාල ආව. අනේ මම ආයෙත් යනකොටත් මිනිහව හම්බවුනා. පොර කතාවක් නැතුව ඔය අගේට හිටියෙ. අපි කතා නෙකොලොත් අපි පරාදයි.

      Delete
  2. අපි මේ ලංකාවෙ තවමත් ජීවත් වෙන්නෙ මේ වගේ උතුම් මිනිසුන් ටික දෙනෙක් හරි ඉන්න නිසයි. අපි ඒ අය වෙනුවෙන්වත් යහපතක් කල යුතුයි

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔවුන්ගේ හොඳ නොපෙනෙන්නෙ අයහපත් ටික දෙනා කිරි හැලියට වැටුන ගොම ගානට වැඩ කරන නිසා.

      Delete
  3. ඇත්තටම හොඳ අය කොතෙකුත් ඉන්නවා. නරක අය අතරට වැටුනම ඔවුනුත් නරක වෙනවා. හැබැයි තමන්ගේ ගරුත්වය ආරක්ෂා කරන් දිගටම ඉන්න අයත් ඉන්නවා. මගේ දුවගේ බෑග් එක අමතක වෙලා පැය භාගයකට පසු ගෙනත් දුන් ත්‍රී රෝද රථ රියදුරෙක් මගේ මතකයට ආව. ඒ වෙලාවේ මගේ හිතේ ඇතිවුන සතුට වචන වලට පෙරලන්න බෑ. මගේ ළඟ තිබුණ සල්ලි ටික සේරම මම ඔහුට දුන්නා.

    ReplyDelete
    Replies
    1. සුදීක දන්නවද බණ්ඩාරට අර තරුණයා දුන්න ගාන? දුකත් හිතෙනවා මනුස්සකම බාල්දු කල තරමට. රු. 100/-. ඒත් බණ්ඩාර ගත්තෙ නෑ.

      Delete
  4. ඉතාම හොද මනුස්සෙයක්

    ReplyDelete
  5. ඔය වගේ උතුම් වැඩ කරන ත්‍රිරෝද රථ හිමියෝ තාමත් කිහිප දෙනෙක් ඉන්නවා.එක පාරක් එක්කෙනෙක් ලක්ෂ දහයක් ආයේ දීලා තිබ්බා.සල්ලි වල අයිති කාරයා ඒ මනුස්සයාට ත්‍රී විල් එකක් අරගෙන දීලා කෘත ගුණ දැක්වීමට!

    ReplyDelete
  6. නිෂාන්
    දෙන්නම නියම මහත්වරු

    ReplyDelete

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .