අම්මා . . . මේ වචනය ඇහෙනකොට හිතට දැනෙන සෙනෙහස වචනයෙන් කියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලොව තාම බිහිවෙලා නැහැ. ඒත් ඒ තරම් උත්තරීතර හැඟීමක් ඇතිකරවන අම්මලා අපේ සමාජයේ කෙතරම් දුක් විඳිනවද? ගිය සිකුරාදා මම අවාසනාවන්ත උනා තවත් එක් අම්මා කෙනෙකුගේ ජීවිතයේ අවසාන කාලය ගෙවුන හැටි දැනගන්න. මේ අම්මා ගිය සිකුරාදා මියගියා. ඒ මියගියේ ඇයගේ පොඩි පුතුගේ ගෙදරදී. මෙම පුතු එයාගේ බිරිඳව කැන්දාගෙන ආවට එම අම්මා දැඩි ලෙස විරුද්ධ උනා. පුතාට හිමි විය යුතුව තිබූ පවුලේ දේපොල පවා ඇය තමාගේ අනෙක් දියණියන්ට හා පුතුන්ට නීතියෙන් පවරා දුන්නා. නමුත් ඇයගේ අවසාන කාලය ගෙවීමට අවශ්‍ය වටපිටාව මෙම දරුවන් කිසි දිනක පිළියෙල කර දුන්නෙ නැහැ. ජීවිතයේ සැඳෑ සමයේ සිටින මෙම මව අවසානයේදී තීරණය කලා තමන්ගේ බාල පුතා ලඟට යන්න. ඇය එහි ගිය විට මෙපමණ කලක් තමන් වටහා නොගෙන සිටි සත්‍යයක් ඇයට වැටහෙන්න ඇති. තමන් අවුරුදු 80වකට අධික කාලයක් ජීවත් වූ තමාගේ නිවස අතහැර තම මරණය තෙක් මෙම පුතුගේ නිවසේ ගත කිරීමට අම්මා තීරණය කර තිබුණා. එය ඇය විසින් අනෙක් දූ දරුවන්ටද දන්වා තිබුනේ "මගේ මරණය කොහේවත් ගෙනියන්න එපා. මෙම පුතාට ඕන විදියට කරගන්න දෙන්න. " යන පණිවිඩය මගින්. හිතන්න ඇය කොපමණ දුකක් විඳින්න ඇතිද ඇය විසින් නොසලකා හරින ලද ඇයගේ ලේලිය විසින් දෙවියන්ට සළකනවා වගේ තම දරුවන්ටත් වඩා හොඳින් සැලකුම් ලබනකොට... මට හිතාගන්න බැරි දරුවන්ට අම්මා කෙනෙකු මරණාසන්න ඇඳේ සිටින විටත් ඇය බැලීමට නොපැමිණ සිටිය හැකිද ? මෙම අනෙක් දරුවන් එසේ කරන ලද අතර අම්මා විසින් ඇයගේ මරණයේ වැඩ කටයුතු සඳහා ඉතිරි කරන ලද මුදලද මව මියගිය වහාම ඇය බැලීමටවත් නොපැමිණි දියණියක විසින් රැගෙන ගොස් තියනවා.
මෙම සිදුවීම ආරංචි වූ විට මා හට සියළු දෙනා ගැන වෛරයක් ඇති වුනත් එම දරුවන්ට ඔවුන්ගේ දරුවන් සළකන ආකාරය සිත්තමක් ලෙස මනසේ ඇඳී යාමෙන් සිත සන්සුන් කර ගන්න හැකියාව ලැබුනා.
දයාබර සහෝදරය / සහෝදරිය කවදාවත් ඔබගේ අම්මට මෙහෙම වෙන්න දෙන්න එපා. එහෙම කරන්න දෙන්නත් එපා.