Wednesday, April 16, 2014

දැන් ඕනෑම දිනයක දවස කීමට ඔබටත් පුළුවන් ! Day of the Date

මම අද කියලා දෙන්න හදන්නෙ යාළුවන්ව පුදුමයට පත් කරවීමට හැකි අනාගත දිනයක හෝ අතීත දිනයක, දිනය විමසා දවස ප්‍රකාශ කල හැකි අතිශය පහසු ගණිත ක්‍රමයක්. මෙය ප්‍රගුණ කිරීමෙන් පිරිසක් සිටින තැනක ඔබට යම් අවධානයක් ලබා ගැනීමට හැකිවේවි. ඒ වගේම මම මේ ළඟකදී යම් රූපවාහිනි නාලිකාවක මෙම දවස කියන ක්‍රමය දිව්‍යමය බලයකින් ලැබූ බව ප්‍රකාශ කල පුද්ගලයෙක් දුටුවා. ඔහු ගැන දුක්වන අතරම මෙම ක්‍රමය ඔබත් අත්හදා බලා දිව්‍යමය බලයක් ලබාගනු ඇතැයි සිතමි.
ඔබ මේ සඳහා මුලින්ම මෙම වගුවේ ආකාරයට මාස සඳහා ලැබෙන අගයන් 12 මතක තබා ගත යුතුයි.

ජනවාරි                          0
පෙබරවාරි                      3
මාර්තු                             3
අප්‍රේල්                           6
මැයි                               1
ජුනි                               4
ජුලි                                6
අගෝස්තු                       2
සැප්තැම්බර්                   5
ඔක්තොබර්                   0
නොවැම්බර්                  3
දෙසැම්බර්                     5

මෙය 033-614-625-035 ලෙස දුරකථන අංකයක් ලෙස මතක තබා ගත් විට මට පහසුවෙන් මතක හිටියා. තමන් කැමති ආකාරයකට මෙම අංක මතක තියා ගන්න.



පියවර 1:

ඔබ මිතුරකුගෙන් දිනයක් විමසන්න. උදා - 04-නොවැම්බර්-1975


පියවර 2:

පළමුව මාසයට අදාල අගය මතක තබා ගන්න. උදාහරණයට අනුව නොවැම්බර් මසට අගය 3 වේ.


පියවර 3:

දැන් මාසයේ අගයට ඔබ විමසා දැනගත් දිනයේ අගය එකතු කරන්න. 3 + 4 = 7


පියවර 4:

එම ලැබුන අගයට විමසා දැනගත් දිනයේ අවුරුද්ද සඳහන් වන කොටසේ අනතිම අගය එකතු කරන්න.

7 + 75 = 82


පියවර 5:

දැන් වර්ෂය සඳහන් අන්තිම අංක දෙක 4න් බෙදා කොපමණ අධික වර්ෂ ප්‍රමාණයක් ගතකර ඇත්දැයි දැනගෙන එය පෙර ලැබුන අගයට එකතු කළ යුතුයි.

75/4 = 18
මෙහිදී ඉතිරිය නෙසලකා හරින්න.

82 + 18 = 100


පියවර 6 :

දැන් මෙම අගය 7න් බෙදා ලැබෙන ඉතිරිය අනුව පෙර විමසූ දිනයේ දවස ඔබට ප්‍රකාශ කළ හැකිය.

උදාහරණයේ දිනයට අනුව නම් 100/7 = 14 ඉතිරි 2 යි. එනම්  04-නොවැම්බර්-1975 වැනිදා අඟහරුවාදා දිනයකි.

***** 2000 වර්ෂයෙන් පසුව සෙනසුරාදා අගය 0 ලෙස ගෙන ඉදිරියට යන්න. - ස්තූතිය සුදීකට

ඉරිදා                  0
සඳුදා                  1
අඟහරුවාදා        2
බදාදා                 3
බ්‍රහස්පතින්දා      4
සිකුරාදා             5
සෙනසුරාදා        6